සෙලෙන්ස්කී ‘කැන්ස්’ චිත්‍රපට උළෙල අමතයි



ලෝ සුපතල ප්‍රංශයේ ‘කැන්ස්’ සිනමා සම්මාන උළෙල ආරම්භ වෙද්දී, උළෙල අමතමින් කතාවක් පැවැත්වීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාවක් ලැබුණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ව්ලොදිමීර් සෙලෙන්ස්කී සම්මාන උළෙල ඇමැතීම සුවිශේෂී සිදුවීමක් වූයේ එය පෙර දැනුම් දීමකින් සිදු නොවූවක් බැවිනි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කෑන්ස් සිනමා සම්මාන උළෙල ඇමැතුවේ යුක්රේනය මුහුණ දෙන අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමටය.

යුක්රේන ජනාධිපති ධුරයට පත් වීමට පෙර සෙලෙන්ස්කී ප්‍රහසන නළුවකු ලෙස යුක්රේනයේ පමණක් නොව යුරෝපා රටවල ද ජනප්‍රිය වූ තැනැත්තෙකි.

“රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දිනපතා සිය ගණනක් දෙනා මියයනවා. සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට පමණක් නොවෙයි, සිනමාලෝලීන්ටත් මා ආමන්ත්‍රණය කරන්න කැමැතියි. නිහඬව සිටින්න එපා. යුක්රේනය වෙනුවෙන් හඬ නගන්න. ඒකාධිපති පාලකයන් සිටිනා තුරු ප්‍රජාතන්ත්‍රවාදයට හෝ නිදහසට හෝ තැනක් නැහැ. අපි සැවොම එකමුතු විය යුතුයි. ඒ එකමුතුකම තමයි අපේ ශක්තිය” යැයි සෙලෙන්ස්කී වීඩියෝ පණිවුඩය ඔස්සේ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS