සුදු ලෝගු හමුදාව දකුණු අප්‍රිකාවට



‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන්ට කියුබානු වෛද්‍යවරුන්ගේ සහාය හිමිවී ඇත.
කියුබානු වෛද්‍යවරුන් 200 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂ ගුවන් යානයකින් දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවරට පැමිණි බව වාර්තා විය. එම ගුවන් යානයෙන් දකුණු අප්‍රිකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ද එවීමට කියුබානු රජය කටයුතු කර ඇත.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංණ්‍යාව 4,350 පසු කර ඇති අතර, මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 82 ක් ලෙසය. දකුණු අප්‍රිකා රජය එරට ලොක්ඩවුන් කර වයිරසය ව්‍යාප්තවීම පාලනය කරන බව පැවැසෙයි.

එලැබෙන 1 වැනිදා සිට ජනතාවට පැනැවූ තහංචි කෙමෙන් ලිහිල් කිරීමට පියවර ගන්නා බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා ඇත. තහංචි ලිහිල් කිරීමෙන් පසු රජයේ සහ පෞද්ගලික කාර්යාල පියවරෙන් පියවර විවෘත කිරීම සහ පාසල් විවෘත කිරීමට දකුණු අප්‍රිකා රජය සූදානම් වෙයි.

කියුබානු වෛද්‍යවරුන් ඇතුළු එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම හැඳින්වෙන්නේ ‘කියුබානු සුදු ලෝගු හමුදාව’ යන නමිනි. මේ වනවිට ඉතාලිය පමණක් නොව, ‘කොවිඞ් 19’ වයිරසය උත්සන්න වූ වෛද්‍ය පහසුකම් සහ තාක්ෂණය අවම මට්ටමක පවතින රටවල් 22 කට ‘කියුබානු සුදු ලෝගු හමුදාව’ කණ්ඩායම් යැවීමට කියුබානු රජය පියවර ගෙන තිබේ. ලොව පුරා එසේ විවිධ රටවලට ගොස් සිටින කියුබානු වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන් ගණන 1,200 කට වැඩි යැයි ද පැවැසෙයි.

කියුබාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 1,337 ක් වාර්තා වී ඇති අතර, මරණ 51 දක්වා ඉහළ ගොස් ඇත. කොමියුනිස්ට් පාලනයක් සහිත කියුබාවේ වෛද්‍යවරුන් ප්‍රමාණය ඉතා ඉහළය. ‘දකුණු අප්‍රිකාව සහ කියුබාව අතර වසර ගණනක් අතීතයේ පටන් හොඳ ශක්තිමත් මිතුදම් පවතිනවා. දකුණු අප්‍රිකාවට මෙම අවස්ථාවේ සහාය ලබා දෙන්න හැකි වීම ඒ මිතුදම් තවත් ශක්තිමත් කිරීමක්’ යැයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර කියුබානු තානාපති රොඩොල්ෆෝ බෙනිටේස් පවසා ඇත.

ප්‍රිටෝරියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS