සිවිල් යුද්ධය අවසන් කරන්න සාම වැඩපිළිවෙළක්



ඉතියෝපියාවේ සිවිල් යුද්ධය අවසන් කිරීමට එරට ටිග්‍රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියානු රජය අතරේ සාම ගිවිසුමකට අත්සන් තැබුණි.

දෙපාර්ශ්වය අතරේ සාම වැඩපිළිවෙළකට සම්බන්ධ කර ගත්තේ අප්‍රිකා සංගමයයි. අප්‍රිකා සංගමය වෙනුවෙන් නයිජීරියාවේ හිටපු ජනාධිපති ඔලුසෙගොන් ඔබාසන්ජෝ මැදිහත් වී සාකච්ඡා පැවැත්වීය.

ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය ආරම්භ වූයේ 2020 නොවැම්බරයේය. ගැටුම් ඇවිලී ගියේ ටිග්‍රේ බෙදුම්වාදීන් ටිග්‍රේ පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලා සිටීමත් සමඟය.

බෙදුම්වාදීන් සමඟ සාම සාකච්ඡා ඇරැඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද් පවසා තිබේ.
සාම වැඩපිළිවෙළට අනුව ටිග්‍රේ බෙදුම්වාදීන් අවි බිම තැබීමට කැමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ. ඒ අනුව අවනීතිය රජ කළ ටිග්‍රේ පළාතේ නීතිය හා සාමය සුරැකීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතියෝපියානු රජය පෙන්වා දී ඇත.

සටන්වලදී ඉතියෝපියා රජයේ හමුදාවට අසල්වැසි රටවල සහාය හිමිවිය. එරිත්‍රියානු හමුදාවේ ද සහාය හිමිවිය. එරිත්‍රියාව යනු අතීතයේ ඉතියෝපියාවට අයත් කොටසකි. එරිත්‍රියාව, ඉතියෝපියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ දශක ගණනක් තිස්සේ පැවැති බෙදුම්වාදී අරගලයකින් පසුවය. ටිග්‍රේ බෙදුම්වාදීන්ගේ ද ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවය.

(රොයිටර්)


RECOMMEND POSTS