සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සැමරුම



2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයේ 20 වැනි සැමරුම ලබන 11 වැනිදාට යෙදී ඇති බැවින්, එම සැමරුමට සහභාගිවීමට පෙර තමන් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණු ස්ථාන නිරීක්ෂණය කිරීමට සූදානම් බව ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් 3,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අයත් කුලුනු ගොඩනැගිලි දෙක මුළුමනින්ම බිමට සමතලා වූයේ අල් කයිඩා ත්‍රස්තයන් මගී ගුවන් යානා පැහැර ගෙන ඒවා එම කුලුනු ගොඩනැගිලිවල හැපෙන්න සැලැස්වූ බැවිනි. එම ප්‍රහාරයෙන් පමණක් මියගිය ගණන 2,753 කි.

ඉන්පසු දෙවැනි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ පෙන්ටගනයටය. පෙන්ටයගනය යනු ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලය. තෙවැනි ප්‍රහාරයට පැහැරගත් මගී ගුවන් යානය පෙන්සිල්වේනියාවට ඉහළින් පුපුරා ගියේ එහි මගීන් ත්‍රස්තයන් සමඟ පොරබදද්දීය. ඒම තෙවැනි ප්‍රහාරයේ ඉලක්කය වූයේ ධවල මන්දිරය යැයි පසුව අනාවරණය විය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සැමරුම නිමිත්තෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් ද ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ එක්වීමට නියමිත බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ පෙන්ටගනය කේන්ද්‍රකොට ගනිමින් බව ද ධවල මන්දිරය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS