සාමකාමීව හැසිරෙන්න - කෙන්යා ජනපති



මූල්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළත් නව පනත් කෙටුම්පතට එරෙහිව, ඊයේ (26) දිනයේ ද කෙන්යාවේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින්, ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව හැසිරෙන ලෙසය.

නව මූල්‍ය පනත් කෙටුම්පත මගින් බදු වැඩි කිරීමට ජනාධිපති රූටෝ සහ ඔහුගේ රජය සූදානම් වෙයි. කෙන්යා වැසියන් පසුගිය දින ගණනාව තිස්සේ මෙම පනත් කෙටුම්පතට දැඩි ලෙස විරෝධය දක්වන්න වූයේ ජීවන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති අවස්ථාවක බදු ඉහළ දැමීම ජනතාව අසීරුවට පත් කිරීමක් බව පෙන්වා දෙමිනි.

පෙරේදා (25) ජනතා විරෝධය මැද, නව මූල්‍ය පනත් කෙටුම්පත කෙන්යා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ.

කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවකි. විරෝධතාකරුවන් කඩා වැදී ගිනි තැබුවේ එක් කොටසකට පමණය. ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.

පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය ජීව උණ්ඩ යොදා ගනිමින් කලහකාරී පිරිසට වෙඩි තැබූ බවත්, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී, කෙන්යා ජනාපධිති  විලියම් රූටෝ සහ මැති ඇමැතිවරුන් ආරක්ෂිතව පිටතට රැගෙන ගිය බව ද වාර්තා වේ.

පනත් කෙටුම්පත සමම්ත වෙද්දී ඊට විරෝධය පළ කරමින් නයිරෝබි අගනුවරට රැස්වුණු දස දහස් ගණනක් විරෝධතාකරුවන් අතරේ ඇමෙරිකාවේ හිටපු ජනාපධිති බැරැක් ඔබාමාගේ ඥාති සොහොයුරියක සිටි බවත්, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට ඇය හසුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තම රජය හඳුන්වා දීමට උත්සාහ ගන්නා නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට සාමකාමීව විරෝධතා පැවැති නමුත් අපරාධකරුවන් ඊට සම්බන්ධ වී, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් ඔවුන් දිගින් දිගටම මර්දනය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාපධිතිවරයා ජාතිය අමතමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය. ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට තමන් හැකි සෑම දෙයක්ම කරන බවත්, සාමයට තර්ජනයක් වීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් ජනාපධිති රූටෝ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS