ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක්
ස්පාඤ්ඤය මේ වනවිට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දී සිටින බවත්, එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චේස් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ, රූපවාහිනියෙන් ජාතිය අමතමිනි. මෙම හදිසි තත්ත්වය ලබන මැයි මාසය තෙක් බල පැවැත්වෙනු ඇති බව ද අගමැතිවරයා පැවැසීය. මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, වයිරස ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව යැයි ද ස්පාඤ්ඤ අගමැතිවරයා පෙන්වා දුන්නේය.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසුවය.
හදිසි තත්ත්වය යටතේ දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 6 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වෙයි. හදිසි තත්ත්වය පැනැවීම කළේ දින 15 ක කාලයක් වෙනුවෙන් වුවත් එය මාස 6 ක් තෙක් දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි.
චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වයිරසය ඇමෙරිකාව ඇතුළු ඇමෙරිකාවේ රටවලට ව්‍යාප්තවීමට පෙර විශාල බලපෑමක් කළේ ස්පාඤ්ඤය සහ ඉතාලියටය. ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ වයිරසය උච්ඡතම අවස්ථාවට පත් වුණු අතර පසුව එය කෙමෙන් අඩු වී ගියේය. කෙසේ නමුත් දැන් වයිරය ව්‍යාප්තිය වැඩිවෙමින් පවතී.
මෙය කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල බවත්, පළමු රැල්ලෙදී මෙන් නොව, මෙම දෙවැනි රැල්ලේදී වයිරස ව්‍යාප්තිය වේගවත් බවත් ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තා වන්නේ 35,000 ක් ලෙසිණි. මිලියනයකට වයිරසය ආසාදනය වී ඇත. ස්පාඤ්ඤය යුරෝපා රටක් වන අතර, යුරෝපා රටවල් අතරින් ආසාදිතයන් මිලියනය සීමාව පසු කළ පළමු රට වන්නේ ද ස්පාඤ්ඥයයි.
මැඩ්රිඩ්හිදීය (රොයිටර්)