සඳ මතුපිට ජනාවාස පිහිටුවන්න සූදානම්



තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

චීනය සඳ මතුපිට පළමු ජනාවාසය පිහිටුවනු ඇත්තේ 2028 වසරේදීය. මෙම එම ජනාවාසය පණ ගැන්වෙනු ඇත්තේ න්‍යෂ්ටික බලශක්තියෙන් යැයි ද පැවැසෙයි.

චීනය මේ වනවිට පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටී. එහි කටයුතු මෙම වසරේ අවසන් වෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි වන්නේ ‘චැංග් ඊ’ මෙහෙයුම් මාලාව යටතේය.

චීනය පළමුවෙන් සඳුගේ කක්ෂයටත්, පසුව සඳ මතුපිටටත් යානා යැවීම් සිදු කිරීමට නියමිතය. ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ‘චැංග් ඊ 6,7 සහ 8’ මෙහෙයුම් යටතේය.

මේ අතර, ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

යානය, නාසා රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ මීට සතියකට පමණ පෙරය. ඉන්පසු පෘථිවි ගුරුත්ව බලය ද යොදා ගනිමින් ඔරියන් යානය සඳට ළං වූ අතර, පසුව එය සඳුගේ කක්ෂයට පිවිසුණි. දින 25 ක මෙහෙයුම නිමා කරමින් යානය ලබන දෙසැම්බර් 11 වැනිදා යළි පෘථිවියට පැමිණීමට නියමිතය. ඔරියන් යානය මෙසේ සඳ බලා ගියේ ආර්ටිමිස් 1 චන්ද්‍ර මෙහෙයුම යටතේය.

(රොයිටර්)


RECOMMEND POSTS