සන්නිවේදන කණ්ඩායමට කාන්තාවන් පමණයි



ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත මාධ්‍ය කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාදිපතිවරයා ජ්‍යෙෂ්ඨ සන්නිවේදන කණ්ඩායමක් නම් කර ඇති අතර ඊට නායකත්වය ලබාදෙන්නේ කේට් බෙඩින්ග්ෆීල්ඩ් ය.

ජෝ බයිඩන්ගේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා වන්නේ කේට් බෙඩින්ග්ෆීල්ඩ් ය . ඒ අනුව ඇය ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ජෙන් සාකි බයිඩන්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ඇත. ජෙන් සාකි දීර්ඝකාලීන ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයකු වන අතර ඇති කාලයක් මුළුල්ලේ එම පක්ෂයේ ප්‍රකාශිකාව ලෙස කටයුතු කර ඇත.

ජෝ බයිඩන්ට ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස පළමු වරට ඊයේ  (30) බුද්ධි තොරතුරු වාර්තාව ලැබීමට නියමිත බව ද වාර්තා විය.

කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයට ද කාන්තාවක පත් කිරීමට ද ජෝ බයිඩන් සැලසුම් කර ඇතැයි පැවසේ.

වොෂින්ටන් නුවර ලිබරල් බුද්ධි මණ්ඩලයක් වන ‘සෙන්ටර් ෆෝ ඇමෙරිකන් ප්‍රෝග්‍රස්’ හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වන නීරා තන්ඩන් ට  අධීක්ෂණ තනතුරක් හිමිවනු ඇතැයි පැවසේ. එ් අනුව ඇය බයිඩන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අධීක්ෂනය කරනු ඇතැයි බයිඩන්ගේ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් තිදෙනාම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයෝ වෙති.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය දරන සමයේදී ඔහුගේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ බෙඩින්ග්ෆීල්ඩ් ය. ජෙන් සාකි ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව ද ලෙස කටයුතු කර ඇත. නීරා තන්ඩන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු සෞඛ්‍ය සහ මානව සේවා ලේකම්වරියක (අමාත්‍ය) වන කැත්ලීන් සෙබෙලියස් එම ධුරය දරන සමයේ ඇයගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරය හෙබවීය.

“සෘජුව හා සත්‍යවාදීව ඇමෙරිකානු ජනතාවට සන්නිවේදනය කිරීම ජනාධිපතිවරයකුගේ ප්‍රධානම වගකීමක් සහ රාජකාරියක්. ඇමෙරිකානු ජනතාව සහ ධවල මන්දිරය සම්බන්ධ කිරීමේ භාරදූර වගකීම මේ කණ්ඩායමට පැවරී තිබෙනවා” යැයි ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“මේ සුදුසුකම්ලාභී අත්දැකීම් ඇති සන්නිවේදකයන් පිරිස ඔවුන්ගේ රාජකාරියට විවිධත්වය ඇති දෘෂ්ටිකෝණයක් ගෙනෙනු ඇත. ඒ වගේම මේ රට යථා තත්ත්වයට පත් කිරීමේදීත් යහපත් තැනකට ගොඩනැගීමේදීත් ඔවුන්ගේ කැපවීම බෙදාහදා ගනු ඇත” යැයි ද ජෝ බයිඩන් තවදුරටත් සඳහන් කළේය.

ජෝ බයිඩන්ගේ සන්නිවේදන කණ්ඩායමේ ප්‍රධාන තනතුරුවල උප හා නියෝජ්‍ය තනතුරුවලට පත් කර ඇත්තේ ද කාන්තාවන් ය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS