ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින්



ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ පියවර ගත්තේය.

හිටපු ජනාධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයාය.

ට්‍රම්ප් මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ, කොලරාඩෝ සහ මේන් යන ජනපදය. මෙම ජනපද රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂයේ බලකොටු ලෙස සැලකෙයි.

2020 නොවැම්බරයේ, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වූයේ දෙවැනි වරටය. කෙසේ නමුත්, ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් ජනාධිපතිවණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. 2021 ජනවාරි 6 වැනිදා බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස් වෙද්දී, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණි. ඇමෙරිකන් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය.

ඇමෙරිකන් ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප්ට චෝදනා රැසක් එල්ල වී ඇත. ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, කැරැල්ලක් මෙහෙයවූ බවට ද චෝදනා එල්ල වී ඇත. කොලරාඩෝ සහ මේන් ආදී ජනපද මැතිවරණ බලධාරීන් සහ එම ප්‍රාන්ත අධිකරණ ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS