වූහාන් නගරයේ රෝහල් ලහිලහියේ ඉදිකෙරේ
චීනයේ වූහාන් නුවර කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත සියලු පහසුකම්වලින් සමන්විත ඉදිකිරීමට චීන රජය පියවරගෙන ඇති අතර, පැය 24 පුරා ඉදිකිරීම් කටයුතු සිදුවෙයි. ඒ, වැඩ මුර කීපයක් හරහාය.
දින 6 කින් ඉදි කිරීමට නියමිත මෙම රෝහල නම් කර ඇත්තේ, ‘හුෂෙන්සැන්’ යනුවෙනි. එහි අර්ථය ගිනි දෙවිඳුගේ ශිඛරය’ යන්නය. රෝහල ඉදිකිරීම ඇරැඹුණේ මීට දින 4 කට පෙරය. රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 3 වැනිදාය. අක්කර 6 ක භූමි ප්රදේශයක් පුරාවට ‘හුෂෙන්සැන්’ රෝහල ඉදි කෙරෙන්නේ රෝගීන් 1,000 කට පහසුකම් සලසා දෙමිනි.
‘හුෂෙන්සැන්’ රෝහලට අමතරව වූහාන් නගරයේ තවත් රෝහලක් ද ඉදිවෙමින් පවතී. මෙම රෝහල ඉදිවන්නේ දින 8 ක කාලයකින් යැයි ද පැවැසෙයි.
වයිරසය පැතිරීමත් සමඟ බලධාරීන් වූහාන් නගරය සීල් තැබීමට පියවර ගත්තේය. මේ වනවිට වූහාන් නගරය පමණක් නොව තවත් චීන නගර 18 ක් සීල් තබා ඇත. චීන අගමැති ලී කෙකියැං පෙරේදා (26) වූහාන් නගරයට ගොස් රෝහල්වල සංචාරය කළේය. ඒ, ආරක්ෂිත ඇඳුමින් සැරැසීය. වූහාන් නුවර රෝහල් කඩිනමින් ඉදිවන අයුරුද චීන අගමැතිවරයාගේ අධීක්ෂණයට ලක්විය.
වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)