විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා



දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියැං ඊයේ (2) පිහි ප්‍රහාරයකට ලක් වී රෝහල්ගත කෙරුණි.

විපක්ෂ නායකවරයා පිහි ප්‍රහාරයට ලක් වූයේ, මාධ්‍යවේදීන් පිරිසක් ද පිරිවරා ගනිමින් බූසාන් වරාය නගරයේ, ඉදිවන ගුවන් තොටුපොළක නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදීය.

පිහි ප්‍රහාරය එල්ල කළේ මාධ්‍යවේදීන් අතරේ සිටි පුද්ගලයෙකි. ලී ජේ මියැංගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ප්‍රහාරකයා අල්ලා ගත්තේ බිම පෙරළා ගනිමිනි.

ප්‍රහාරකයා බූසාන් නුවර පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු අවුරුදු 50 ත් 60 ත් අතර අයකු බව පොලිසිය පසුව පැවැසීය.

ඔහු විපක්ෂ නායකයාට පහර දුන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි.

ලී ජේ මියැං ට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූ අතර, එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය.

හෙලිකොපටරයක ආධාරයෙන්, ලී ජේ මියැං කඩිනමින් සෝල් අගනුවර ශික්ෂණ රෝහලට රැගෙන යෑම සිදුවිය. වෛද්‍යවරුන් කඩිනමින් ලී ජේ මියැං සැත්කමකට ලක් කළ බව ද පැවැසිණි.

59 හැවිරිදි ලී ජේ මියැං නායකත්වය දෙන්නේ දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. ලී ජේ මියැං, දැනට කොරියානු ව්‍යවස්ථාදායක සභාවේ (පාර්ලිමේන්තුවේ) සමාජිකයකු නොවන නමුත්, මෙම 2024 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ඔහු අසුනක් වෙනුවෙන් තරග වදීමට නියමිතය.

ලී ජේ මියැං 2022 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහු පරාජයට පත් වූයේ සියයට 0.73 ක සුළු ඡන්ද ප්‍රතිශතයකිනි. දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2027 වසරේදීය. ලී ජේ මියැං, ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව ද පැවැසෙයි.

දකුණු කොරියාවේ, බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. දකුණු කොරියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, පක්ෂ නායක පාක් ග්වෙන් හේ ය. 2006 වසරේ දී ජනාධිපති ධුරයට පත් වීමට පෙර, පක්ෂ රැලියකට සහභාගී වෙමින් සිටිද්දී, පාක් ග්වෙන් හේ ද පිහි ප්‍රහාරකට ලක් වී තුවාල ලැබුවේය. එම පිහි ප්‍රහාරය එල්ල වූයේ පාක් ග්වෙන් හේගේ මුහුණටය.


RECOMMEND POSTS