විපක්ෂ නායක තමයි දිනුවේ



වෙනිසියුලානු ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රහකයා ජනාධිපති මදුරෝගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරූෂියා බව ඇමෙරිකා එක්සත් ජනපදය පිළිගන්නේ යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

වෙනිසියුලාවේ ජාතික මැතිවරණ කවුන්සිලය පසුගියදා එරට පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජනාධිපති නිකොලස් මදුරෝ බවත් ඔහු සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවත් නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි විපක්ෂයේ නියෝජිතයකුට ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් බවත් එරට විපක්ෂය චෝදනා එල්ල කළේය.

ජනාධිපති නිකොලස් මදුරෝ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ දැරූ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් චෝදනා රැසක් එල්ල වීමත් සමඟ මදුරෝගේ ජයග්‍රහණය තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ජාතික මැතිවරණ කවුන්සිලයෙන් ඉල්ලා සිටිමින් බ්‍රසීලය, කොලොම්බියාව සහ මෙක්සිකෝව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

එවන් පසුබිමක ඇමෙරිකාව මෙම නිවේදනය නිකුත් කළ අතර ලැබී ඇති සාක්ෂි අනුව වෙනිසියුලානු ජනාධිපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මදුරෝ නොව එඩ්මුන්ඩෝ ගොන්සාලේස් බව පැහැදිලි යැයි එම නිවේදනයේ දැක්විණ.


RECOMMEND POSTS