වැග්නර්’ නායකයාට මරණ තර්ජන තිබුණා



ගුවන් අනතුරුන් මියගිය ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කියා සිටියේ, මරණ තර්ජන තිබූ බැවින් කල්පනාවෙන් වැඩ කරන්නැයි තමන් අවස්ථා ගණනාවකදී ප්‍රිගොෂින්ට අනතුරු ඇඟවූ බවය.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, ප්‍රිගොෂින්ගේත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් සමීප මිතුරෙකි. පසුගිය ජූනි මාසයේ, ප්‍රිගොෂින් සහ ඔහුගේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය, රුසියන් හමුදාවටත්, රුසියන් ජනාධිපති පුටින්ටත් අභියෝගයක් විය. ඒ ඔවුන් හමුදා කැරැල්ලකට සූදානම් වීමත් සමඟය. එම අවස්ථාවේදී ප්‍රිගොෂින් ද්‍රෝහියකු යැයි පුටින් පැවැසීය. පැය කීපයකට සීමා වුණු හමුදා කැරැල්ල අවසන් වූයේ ජනාධිපති ලුකෂෙන්කෝ මැදිහත් වී, ප්‍රිගොෂින් සහ ‘වැග්නර්’ සාමාජිකයන් බෙලරූස් රාජ්‍යයට ගෙන්වා ගැනීමෙනි.

අතීතයේ පුටින්ගේ සමීපතමයකු වූයේ ද ප්‍රිගොෂින් ය. බෙලරූස් යෑමෙන් පසු යළිත් පුටින් හා සම්බන්ධ වී සාකච්ඡා කිරීමටත් යළි රුසියාව බලා පැමිණීමටත් ප්‍රිගොෂින් කටයුතු කළේය. එම අවස්ථාවේදී පවා තමන් ප්‍රිගොෂින්ගෙන් ඉල්ලා සිටියේ රුසියාවට නොයන ලෙස යැයි ජනාධිපති ලුකෂෙන්කෝ පවසා තිබේ. 'රුසියාවට ගියොත් මැරෙන්න වේවි. පුටින් සමාව දෙන කෙනෙකු නොවෙයි යැයි මා ඔහුට කීවා. මට මැරෙන්න වෙනවා නම් මැරෙන්න වේවි. මා බය නැහැ' යනුවෙන් ඔහු මට පිළිතුරු දුන්නා' යැයි ලුකෂෙන්කෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ප්‍රිගොෂින් මියගියේ ඔහු ගමන් කරමින් සිටි ඔහුගේ පෞද්ගලික ජෙට් යානය කඩා වැටීමෙනි.


RECOMMEND POSTS