වායු දූෂණය ඉහවහා යද්දී දිල්ලිය ලොක්ඩවුන්



වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට දිල්ලි ප්‍රාන්ත බලධාරීහු  තීරණය කළහ. වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් ලොව නගරයක් 'ලොක්ඩවුන්' කළ පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලි අගනුවර පාසල් වසා දැමීමට ප්‍රාන්ත රජය සහ නගර බලධාරීන් ඒකමතිකව තීරණය කළේ පසුගිය සෙනසුරාදා (13) ය. වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම සිදුවනු ඇත්තේ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන දත්ත පාදක කර ගනිමින් යැයි දිල්ලි මහ ඇමැති අරවින්ජ් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

මේ වනවිට නවදිල්ලි අගනුවර සියලු ඉදිකිරීම් වැඩ පවා තාවකාලිකව සිවු දිනකට නවතා දමා ඇති බවත්, නගරයට පිවිසෙන වාහන සීමා කිරීමටත් පියවර ගෙන ඇත. රජයේ සේවකයන් බොහෝ දෙනකුට නිවසේ සිට රැකියාව කිරීමට අවසර ලැබී ඇති අතර, සේවක සේවිකාවන් හැකි තරම් නිවෙස්වල රඳවා සේවා ලබා ගැනීමට පියවර ගන්නැයි දිල්ලි රජය පෞද්ගලික අංශයට දන්වා ඇත.

අද වනවිට ලොව වඩාත්ම දූෂිත නගරයක් ලෙස සැලකෙන්නේ නවදිල්ලියයි. වායු දූෂණය ඉහවහා ගොස් නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට බලධාරීන්ට සිදුවූයේ දීවාලී සැමරුමෙන් පසු නවදිල්ලිය විෂ දුමාරයකින් වසී යෑමත් සමඟය. විෂ දුමාරයකින් නගරය වැසී ගියේ දීවාලි සැමරුම් සඳහා ගිනිකෙළි සහ පිදුරු දැල්වීමට දිල්ලි වැසියන් කටයුතු කළ බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS