වයිරසය ඉතාලියට ඇවිත් තියෙන්නේ නොදැනීම



ඉතාලියෙන් නිල වශයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු පළමු වරට හමුවුණේ පෙබරවාරියේ යැයි වාර්තා වුවත් එය වැරදි යැයි ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

වෛද්‍ය පර්යේෂකයන් මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ,  චීනයෙන් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතාලියේ ව්‍යාප්තවීමට පටන්ගෙන ඇත්තේ පසුගිය ජනවාරියේ සිට බවය.

නිල වාර්තා අනුව, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතාලියේ පැතිර යෑම ඇරැඹුණේ පෙබරවාරි 21 වැනිදා, ගොඩොග්නෝ නමැති කුඩා නගරයෙන් පළමු ආසාදිතයා හමුවීමෙනි. මෙම පළමු ආසාදිතයා එම කුඩා නගරයේ පදිංචි ඉතාලි ජාතිකයෙකි.

එම ආසාදිතයා හමුවීමට පෙර සෙම්ප්‍රතිශ්‍යාව උත්සන්න වී නිව්මෝනියාවෙන් මරණ කීපයක් සිදුවී ඇති බවත්, එසේ මියගියේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් යැයි සිදු කළ පුළුල් පරීක්ෂණයකින් පසු ඉතාලි වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.

ඒ අනුව, ඉතාලිය ‘ලොක්ඩවුන්’ කිරීමට ඉතාලි රජය තීරණය කරද්දී, වයිරසය නොසිතූ අයුරින් බොහෝ දෙනා අතරේ ව්‍යාප්තවී තිබුණු බවත්, ඉතාලියේ ආසාදිතයන් සහ මරණ ඉතා ඉහළ අගයක් ගත්තේ මේ නිසා බවත් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS