වයිරසය ආවේ චීනයේ වූහාන් රසායනාගාරයෙන්
ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසය චීනයේ වූහාන් නුවර රසායනාගාරයෙන් සමාජයට මුදා හැරුණු වයිරසයක් බව ඔප්පු කිරීමට සාක්ෂි රැසක් ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පොම්පේඕ මෙසේ අවධාරණය කළේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාළිකාවේ ‘දිස් වීක්’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් සිදුවූයේ පසුගිය දෙසැම්බරයේය. වයිරසය පැතිරීම ඇරැඹුණේ වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළෙන් බව තහවුරු වී ඇත. මෙම වෙළෙපොළට සැතපුම් 8 ක් දුරින් වූහාන් වයිරස රසායනාගාරය පිහිටා ඇත.
මෙම රසායනාගාරය කොරෝනා වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ස්ථානයකි. ‘කොවිඞ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය ඇමෙරිකාව චෝදනා කරන්නේ එම රසායනාගාරයේ නිපදවූ ‘කොවිඞ් 19’ හිතාමතා හෝ අත්වැරදීමකින් හෝ සමාජයට මුදා හැරුණු බවය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පොම්පේඕ පමණක් නොව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද පවසා ඇත්තේ වූහාන් රසායනාගාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම කළ යුතු බවය. කෙසේ නමුත් චීනය ඊට එරෙහි වී ඇත.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)