ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීන අගමැති හමුවෙයි



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං අතර විශේෂ හමුවක් පැවැත්වුණු අතර, ‘කොවිඩ් 19’ වසංගතයේ මූලාරම්භය ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

මෙම හමුව පැවැත්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස්, බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක අවස්ථාවට පැමිණි අවස්ථාවේදීය. චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු චීන සෞඛ්‍ය අමත්‍යාංශ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බවත්, ‘කොවිඩ් 19’ වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීමට එහිදී සාකච්ඡා පැවැත්වුණු බවත් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා ඇත්තේ ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේය.

ඊට අමතරව මෙම 2022 වසර අවසන් වීමට පෙර ගෝලීය වශයෙන් ලෝක ජනගහනයෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. පසුගිය 2021 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් චීන රජයේ අවසරය මැද වූහාන් නුවරට ගොස් විමර්ශන කටයුතු කළත්, වයිරස ව්‍යාප්තියේ මූලාරම්භය ගැන හරිහැටි තහවුරු කර ගැනීමට හැකිවූයේ නැත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරන්නේ, වූහාන් නුවර පිහිටි චීන හමුදාවට සහ රජයට අයත් වයිරස රසායනාගාරයෙන් ‘කොවිඩ් 19’ අත්වැරදීමකින් සමාජයට කාන්දු වූ බවත්, ‘කොවිඩ් 19’ යනු ජීව අවියක් ලෙස භාවිතයට ගැනීමට චීන විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ වයිරසයක් බවය. චීනය මෙය තරයේ ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වයිරසයේ මුල්ම පර්යේෂණ වාර්තා සහ රෝගීන්ගේ තොරතුරු තවමත් චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS