ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක්



ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගැනීමට පියවර ගන්නා බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

‘කොවිඞ් 19’ වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයේ කීමට සැබෑ තොරතුරු වසං කළ බවටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය පිළිබඳ ලොවට අනතුරු ඇඟවූයේ ප්‍රමාද වී බවටත් ඇමෙරිකන් ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. අද වනවිට චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පැත්ත ගෙන කටයුතු කළේ යැයි චෝදනා මත ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මුදල් ආධාර පවා තාවකාලිකව නවතා දමා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් වී ඇති බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේ ෆොක්ස් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘සමහරවිට ඉතා මතා කළ දෙයක් නොවේ වෙන්න පුළුවන්. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කන් දුන්නා. වයිරසය චීනයේ දරුණු ලෙස පැතිරෙද්දී පවා, එය වසංගත තත්ත්වයක් යැයි ලෝකයට අනතුරු ඇඟවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය විශ්වාස කළා. වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආධාර දෙන ඇමෙරිකාවට වඩා චීනය විශ්වාස කළා. චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 38 වැනි සුළු මුදලක්’ යැයි ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS