ලොව පුරා මුහුණු ආවරණ හිඟයක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව පුරා පැතිරෙද්දී, මුහුණු ආවරණවල හිඟයක් පවතින බව වාර්තා වේ.

කොරෝනා වයිරසය හේතුවෙන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එම මරණ සියල්ල වාර්තා වන්නේ චීනයෙනි. චීනයේ සහ සෙසු රටවලින් රෝගීන් 4,000 කට වැඩි පිරිසක් සොයාගෙන ඇත.

චීනයේ පමණක් නොව, වයිරසය පැතිරෙන රටවල වැසියන්ට මුහුණු ආවරණ පැළඳ නිවසින් බැහැරව යන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇති අතර, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වළකින්නැයි අනතුරු අඟවා ඇත.

මුහුණු ආවරණවලට විශාල ඉල්ලුමක් පවතින බැවින් චීනයේ පමණක් නොව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත්, ආසියානු රටවලත් මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම්වලට වාසි රැසක් හිමිවී ඇත. චීනයේ මුහුණු ආවරණ නොමිලේ බෙදා හැරීමට එරට මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉදිරිපත් වී සිටී. මේ අතර ආසියානු රටවල මුහුණු ආවරණ වඩා වැඩි මුදලකට විකිණිමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මුහුණු ආවරණ බොහොමයක් නිෂ්පාදනය කරන රට ලෙස සැලකෙන්නේ ද චීනයයි. ලක්ෂයකට වැඩි මුහුණු ආවරණ දිනකට නිර්මාණය කිරීමට චීන සමාගම්වලට සිදුවී ඇති නමුත් දිනකට නිර්මාණය කළ හැකි වන්නේ 36,000 ක් වැනි මුහුණු ආවරණ ප්‍රමාණයක් යැයි එම සමාගම් පවසා ඇත. ඊට අමතරව විදෙස් රටවල් මුහුණු ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේ ද චීනයෙනි. එම අමුද්‍රව්‍ය ලබා ගැනීම මේ වනවිට විදෙස් සමාගම්වලට ගැටලුවක් වී තිබේ.

මේ වනවිට චීනයෙන් පිට වැඩිම කොරෝනා වයිරස රෝගීන් සොයාගෙන ඇත්තේ හොංකොංවලිනි. හොංකොංවලින් හමුවුණු රෝගීන් ගණන 8 කි. මෙම අට දෙනා, චීනයේ සිට හොංකොං බලා පැමිණි අය යැයි අනාවරණය වී තිබේ.

හොංකොං යනු චීනයට අයත්, වෙනම පාලනයක් සහිත ප්‍රදේශයකි. වයිරසය වේගයෙන් පැතිරෙන හුබෙයි පළාතෙන් පැමිණෙන චීන ජාතිකයන් හොංකොංවලට ඇතුළත් නොකර ගන්නා බව හොංකොං පාලිකා කැරී ලෑම් පවසා ඇත.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS