රෝහලේ සිට නඩු අහලා



පිත්තාශයේ ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රූත් බැඩර් ගින්ස්බර්ග් රෝහලේ සිට නඩු ඇසූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

87 හැවිරිදි විනිසුරුවරිය ප්‍රතිකාර ලැබූ බව පැවැසෙන්නේ බොල්ටිමෝරයේ ජෝන්ස් හොප්කින්ස් රෝහලේය. සත්කමක් අවශ්‍ය නොවන නමුත් ඇය දින කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත් බව පැවැසෙයි. ඇය නඩු විභාග කළේ එසේ ප්‍රතිකාර ලබමින් සිටිද්දීය.

විනිසුරු රෝහල් ඇඳේ සිටිද්දී, නඩු ඇසුවේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ සජීවීව අධිකරණ ශාලාවට සම්බන්ධ වෙමිනි. එය තමන්ට සුවිශේෂී අත්දැකීමක් වූ බව විනිසුරුවරිය පවසා තිබේ.

ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (6) වැඩිදුරටත් වාර්තා කළේ විනිසුරුවරිය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටවී ගිය බවය. දින කීපයක් විවේකීව සිටින්නැයි විනිසුරුවරියට උපදෙස් ලැබී ඇති බව ඇගේ ප්‍රකාශිකාවක පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS