රුසියාවෙන් බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ



බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව, බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

රුසියාව සහ බෙලරූසය අසල්වැසි රටවල්ය. ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතම මිතුරෙකි. බටහිර රටවල් චෝදනා කරන්නේ ලුකෂෙන්කෝ පුටින්ගේ රූකඩයක් බවය.

යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී ඒ සඳහා බෙලරූසයේ සහාය රුසියාවට ලැබුණි. රුසියන් සොල්දාදුවන් එක් පැත්තකින් යුක්රේනයට ඇතුළු වූයේ බෙලරූස යුක්රේන දේශසීමාව හරහාය. යුක්රේනයේ උතුරු දේශසීමාවේ බෙලරූසය පිහිටා තිබේ.

පසුගිය දා ලුකෂෙන්කෝ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය. නේටෝවට අයත් ප්‍රහාරක යානා දිනෙන් දින බෙලරූස ගුවන් සීමාවට ළං වන බවත්, නොටෝවෙන් තරම්ට තර්ජනයක් එල්ල වන බවත් පෙන්වා දෙමින් ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපතිවරයාගෙන් යුද ශීර්ෂ ඉල්ලා සිටි අතර, රුසියන් ජනාධිපතිවරයා ඒ සඳහා කැමැත්ත පළ කළේය.

මේ වනවිට බෙලරූස හමුදාව සතුව න්‍යෂ්ටික යුද ශීර්ෂ පවතින බව වාර්තා වේ. රුසියාවෙන් තවත් න්‍යෂ්ටික යුද ශීර්ෂ බෙලරූසයට හිමිවීමත් සමඟ එරට හමුදා ශක්තිය වැඩිවනු ඇති බව බටහිර යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS