රුසියාවට නව සම්බාධක



රුසියානු බැංකු, ගෝලීය බැංකු පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා බටහිර මිත්‍ර සන්ධානය සෙනසුරාදා දිනයේ දී රුසියාවට නව සම්බාධක පැනවීය.

බටහිර රටවල් රුසියාවට මෙලෙස නව සම්බාධක පැනවූයේ රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවරට වටළා ඇතැයි පැවැසෙන මොහොතක ය.

තමන් දිගින් දිගටම රුසියානු හමුදාවලට එරෙහිව සටන් කරන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමාජ මාධ්‍යයට විඩියෝ පටයක් නිකුත් කර තිබිණි. හෙතෙම කියෙව් නුවර වීදියක සිට එය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.

රුසියානු හමුදා දිගින් දිගටම පහර දුන්න ද කියෙව් අගනුවරට පැමිණෙන රුසියානු හමුදාවලට නොසිතු ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේන හමුදා සමත්ව ඇතැයි ද කියෙව් අගනුවර ආරංචි මාර්ගවලින් කියැවිණි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට දඬුවම් දීමක් ලෙසෙ මෙලෙස නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය, ඔවුන්ගේ යුරෝපීය පාර්ශවකරුවන් ප්‍රමුඛ බටහිර සන්ධානය පියවර ගත්තේ ය. මීට අමතරව බටහිර රටවල් රුසියාවේ මුදල් ඒකකය වන රූබල් මුදල් එකකයට බලපෑමක් එල්ල කළ හැකි වන පරිද්දෙන් රුසියානු මහ බැංකුව මත සම්බාධක පැනවීමට ද තීරණය කර ඇත. රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද්ධය වෙනුවෙන් කරන මූල්‍ය ක්‍රියාකාරකම් සීමා කිරීම එහි අරමුණ වී තිබේ.

කියෙව් අගනුවර තැනින් තැන වෙඩි හඬ හා පිපිරුම් හඬ ඇසුණු බව රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර තිබූ අතර එනමුත් එම හඬ ඇසෙන්නේ කුමන ස්ථානවලින් ද නිශ්චිතව වාර්තා කර නොතිබිණි. කෙසේ නමුත් සෙනසුරාදා දිනය වනවිටත් අගනුවරටත් තවත් නගර කිහිපයකටත් රුසියාවෙන් කාලතුවක්කු ප්‍රහාර සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.

විශේෂ යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේන ආක්‍රමණය ආරම්භ කළේ ඉකුත් බ්‍රහස්පතින් දා (24) ය. බටහිර රටවල් කළ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් පුටින් මෙම ආක්‍රමණය ආරම්භ කළ යුක්රේනය පාලන කරන “නව නාසිවාදීන්” රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ද පැවැසීය. යුක්රේනය තුළ ජනසංහාරයක් සිදු වන බවට ද පුටින් පැවැසීය. මේ සියල්ලම සම්පූර්ණ අසත්‍ය බවත් මේවා රුසියාවේ ‘ප්‍රොපගැන්ඩා’ බවත් යුක්රේනය මෙන්ම බටහිර රටවල් ද අවධාරණය කළේ ය.  

රුසියාවේ මෙම ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය වන අතර සීත යුද්ධයෙන් පසු ‘ඕඩරයට’ දරුණු බලපෑමක් සහ තර්ජනයක් එල්ල කර තිබේ.

රුසියාවේ දැවැන්ත ප්‍රහාරයට යුක්රේනය දැඩි අධිෂ්ඨානශීලී සහ කිසිවකුත් අපේක්ෂා නොකළ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.

රුසියානු ආක්‍රමණ හේතුවෙන් සිය දහස් ගණන් යුක්රේන ජාතිකයන් රට අතහැර බටහිර දෙසට පලා යමින සිටින අතර මේ නිසා මහමාර්ග සහ දුම්රිය මාර්ග අවහිර වී තිබේ.

රුසියාවේ යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙතත් අනෙකුත් නගර වෙතත් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් මේ හේතුවෙන් රුසියාව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් සහ අපගේ ආර්ථිකවලින් හුදෙකලා කිරීම සඳහා මෙලෙස නව සහ දැඩි සම්බාධක පනවන බව අලුත් සම්බාධක පනවන බව නිවේදනය කරමින් බටහිර මිත්‍ර සන්ධානය සඳහන් කළේ ය.

“ඉදිරි දින කිහිපය ඇතුළත මේ සම්බාධක ක්‍රියාත්මක වෙනවා” යැයි බටහිර රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය සහ යුරෝපීය කොමිසම එක්ව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි.

රුසියාවට දඬුවම් දීමක් ලෙස මෙම පියවර ගන්නා බව ද එම සන්ධානය සඳහන් කළේ ය.

(රොයිටර්)


RECOMMEND POSTS