රුසියානු තෙල් මත සීමාවක් පැනවීමට යයි



රුසියානු තෙල් මත සීමාවක් පැනවීමට ජී7 කණ්ඩායමේ නායකයෝ සාකච්ඡා පවත්වමින් සිටිති.

ලොව ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හත ලෙස සැලකෙන ජී7 කණ්ඩායමේ තෙදින සමුළුව ආරම්භ විය.

රුසියානු තෙල්වලට සීමාවක් පැනවීම සම්බන්ධයෙන් ඉතා පුළුල් සහ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මානු රජයේ නිලධාරියෙක් පැවැසීය.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජී7 කණ්ඩායම මෙම පියවර ගැනීමට සූදානම් වේ.

ජී7 කණ්ඩායම රුසියානු තෙල් මත සීමා පැනවුවහොත් එය මේ වනවිට ගෝලීයව ඇති වී තිබෙන උද්ධමනකාරී පීඩනවලට තවදුරටත් අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇතැයි පැවසේ.

මෙවර ජී7 කණ්ඩායමේ රටවල නායකයන්ගේ සමුළුවේ දී යුක්රේන යුද්ධය, බලශක්ති සහ ආහාර හිඟ, ගෝලීය ආර්ථික සම්බන්ධයෙන් තිබෙන අඳුරු සහ අහිතකර තත්ත්ව යනාදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත ය.  

දකුණු ජර්මනියේ ෂ්ලෝස් එල්මාවුහිදී මෙවර ජී7 නායකයන්ගේ සමුළුව පැවැත්වීමට නියමිත ය.

ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රිතාන්‍ය දැනටමත් රුසියාවෙන් තෙල් ආනයනය කිරීම තහනම් කර ඇති යුරෝපා සංගම් නායකයන් රුසියානු තෙල් මත තහනමක් පැනවීමට එකඟතාව පළ කර ඇත. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම තහනම පැනවූ අතර එය මේ වසරේ අග සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ගෝලීයව බලශක්ති මිල ගණන් ඉහළ යමින් තිබෙන අතර මෙම සීමා පැනවුව ද එයින් රුසියාවට බලපෑමක් වනු නැතැයි බටහිර රටවල් බිය පළ කරයි. එමෙන්ම රුසියාවෙන් ආනයන කරන තෙල් ප්‍රමාණ අඩු වුව ද රුසියාව අපනයනවලින් සැලකිය යුතු මුදලක් උපයනු ඇතැයි ද ඇස්තමේන්තු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS