රුසියන් යුක්රේන යුද්ධය අඟහරු මෙහෙයුමට බාධාවක්



යුරෝපා අභ්‍යවකාශ ආයතනය ‘එසා’ සහ රුසියන් අභ්‍යවකාශ ආයතනය ‘රොස්කොස්මොස්’ එක් වී, අඟහරු ගවේෂණ මෙහෙයුමක් සැලැසුම් කර තිබුණු නමුත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් එම අඟහරු මෙහෙයුම නවතා දැමීමට සිදුවී ඇතැයි පැවැසෙයි.

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට යුරෝපා රටවල් සම්බන්ධ වී සිටී.  යුරෝපා අභ්‍යවකාශ ආයතනය, රුසියානු ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය සමඟ එක් වී සැලසුම් කළ ‘එක්සෝ මාර්ස්’ නමැති අඟහරු ගවේෂණ මෙහෙයුම ආරම්භ කිරීමට සැලැසුම් කර ඇත්තේ 2024 දීය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට එරෙහිව, යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. එම සම්බාධක හේතුවෙන් අඟහරු ගවේෂණ මෙහෙයුම පමණක් නොව, රුසියාව සම්බන්ධ වන සෙසු අභ්‍යවකාශ මෙහෙයුම් ද අඩපණ වී තිබේ.

‘රොස්කොස්මොස්’ ආයතනයේ ප්‍රධානී දිමිත්‍රි රොගෝසින් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු ද මේ වනවිට අඩපණ වී ඇති බවත්, අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවියට කඩා වැටීමේ අවධානමක් ඇති බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS