යුරෝපා රටවල නායකයෝ යුක්රේනයේ කීව් අගනුවරට
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඒකපාර්ශ්වීය දින තුනක සටන් විරාමය, දින 30 ක් දක්වා දීර්ඝ කර ගැනීමේ අරමුණින්, යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවූහ. ඒ, යුක්රේනයේ කීව් අගනුවරදීය.
රුසියන් ජනාධිපති පුටින්, තෙදින ඒක පාර්ශ්වීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ, දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියාව ප්‍රමුඛ සෙසු බටහිර රටවල් නාසි හමුදා පරාජය කිරීමේ විජයග්‍රාහී යුද සැමරුමට සමගාමීවය.
තෙදින සටන් විරාමය දින 30 ක් දක්වා දීර්ඝ කරමින්, වසර තුනක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි යුරෝපා නායකයන්ගේ අවධානය යොමු වී ඇත.
කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති හමුවුණු රාජ්‍ය නායකයන් වන්නේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් නව චාන්සල්වරයා ෆෙඩ්‍රිච් මෙර්ස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ය.
පෝලන්තය යනු යුක්රේනයේ එක් සමීප අසල්වැසියෙකි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් සහ බිරියගෙන් යුරෝපා නායකයන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
රුසියානු යුක්රේන යුද්ධය කඩිනමින් නිමා කිරීමටත්, අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැදිහත් වී සිටී. ට්‍රම්ප් ද රුසියන් ජනාධිපති පුටින්ට පැහැදිලි කර දී ඇත්තේ දින 3 ක සටන් විරාමය දින 30 ක් දක්වා දීර්ඝ කරන ලෙසය. එසේ නොකරන්නේ නම්, රුසියාවට තව තවත් සම්බාධක පනවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)