යුක්රේනයේ දෙදින සටන් විරාමයක්



‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය.

පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.

සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ඕතඩොක්ස්’ පල්ලිය හෝ නැගෙනහිර පල්ලිය හෝ ග්‍රීක ‘ඕතඩොක්ස්’ පල්ලිය යනු ක්‍රිස්තියානි ධර්මයේ ඇදහිලිවන්තයන්ගේ සභාවේ ශාඛාවකි.

‘ඕතඩොක්ස්’ කතෝලික පල්ලිය උපත ලැබුවේ 1054 වර්ෂයේ ක්‍රිස්තියානි පල්ලියේ නිශ්චිත වෙන්වීමෙනි. ‘ඕතඩොක්ස්’ පල්ලිය මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර අර්ධයේ සියලුම ක්‍රිස්තියානි ප්‍රජාවන්ගේ උරුමක්කාරයා ලෙස පිළිගැනෙයි.

‘ඕතඩොක්ස්’ ක්‍රිස්තියානි ධර්මය පසුව නැගෙනහිර යුරෝපය (රුසියාව සහ යුක්රේකය ද ඇතුළු රටවල්) පුරා ව්‍යාප්ත වූයේ බයිසැන්තියානු අධිරාජ්‍යයේ කීර්තියට සහ විවිධ මිෂනාරි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයෙන් බව ඉතිහාසයේ සඳහන් වෙයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළ කර තිබේ.

තුර්කි ජනාධිපතිවරයා රුසියන් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී ඉල්ලා ඇත්තේ සටන් විමාරය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසය.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා තිබේ.

සැබෑ සටන් විරාමයක් ආරම්භ කිරීමට නම් රුසියානු සෙබළුන්, ඔවුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබ ඇති පළාත් සහ නගරවලින් පිටවී යා යුතු යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS