යුක්රේනයට දෙන ආධාර නවත්වන්න ට්‍රම්ප් අණ කරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතරේ ඉකුත් ජූලි 25 වැනිදා පැවැති දුරකතන කතාබහ අවසන් වී මිනිත්තු 91 කට පසු ඇමෙරිකාව යුක්රේනයට ලබා දෙන මුදල් ආධාර තාවකාලිකව නවත්වන්නැයි ජනාධිපති ට්‍රම්ප් පෙන්ගනටයට දන්වා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

දෝෂාභියෝගකට මුහුණ පා සිටින ජනපති ට්‍රම්ප්ට මෙම අනාවරණය ලොකු අවාසියක් වනු ඇති බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් සාමාජිකයන්, ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ගෙනැවිත් ඇත්තේ ද ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති අතරේ ඉකුත් ජූලි 25 වැනිදා සිදුවුණු දුරකතන කතාබහ මුල්කොට ගනිමිනි.

දෝෂාභියෝගය චෝදනා දෙකක් යටතේ ඉකුත් සතියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, එය සම්මත වූයේ ට්‍රම්ප්ට අවාසි වන ලෙසිනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වීම ඊට හේතුවය.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසිගේ මැදිහත්වීමෙනි. දෝෂාභියෝගය ගෙන ඒමට හේතුවක් වී ඇත්තේ, ජනපති ට්‍රම්ප් සිය බලතල අනිසි ලෙස භාවිත කරමින්, පෞද්ගලික වාසි අපේක්ෂාවෙන්, විදෙස් රාජ්‍ය නායකයකුට බලපෑම් කර, උදවු ලබා ගැනීම සම්බන්ධයෙනි.

ලබන 2020 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ එක් ජනපතිධුර අපේක්ෂකයකු වන්නේ ජෝ බයිඩන් ය. ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය. බයිඩන් උප ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පුත්‍රයා හන්ටර් බයිඩන්, යුක්රේන තෙල් සහ වායු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිනයෙක් වී සිටියේය. මෙම සමාගමට මූල්‍ය වංචා චෝදනා එල්ල විය. එවකට පැවැති යුක්රේන රජය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ නමුත් ජෝ බයිඩන් ඊට හරස් වී තිබේ.

වර්තමානයේ යුක්රේනයේ ජනාධිපතිවරයා වන්නේ ව්ලොදිමීර් සෙලෙන්ස්කි ය. මොහු ජනපති ධුරයට පත් වූයේ පසුගිය ජූලි මාසයේය. නව ජනපති සෙලෙන්සිකට සුබ පැතීමට, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ඔහුට ඇමතුමක් දෙමින් කියා සිටියේ ජෝ බයිඩන් සිදු කළ බලපෑම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසය. එසේ විමර්ශනයක් නොකරන්නේ නම්, ඇමෙරිකාවෙන් යුක්රේනයට ලැබෙන මුදල් ආධාර නවත්වනවා යැයි ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට තර්ජනයක් ද කළේය. යුක්රේනයට මුදල් ආධාර නැවැත්වීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළේ ඒ අනුවය.

පෞද්ගලික මට්ටමින් සිදුවුණු මෙම දුරකතන කතාබහ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට අනුයුක්තව සේවය කළ සී.අයි.ඒ. බුද්ධි නිලධාරියෙකි. කතා නායිකා නැන්සි පෙලෝසි, ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු යෙදුණේ ඒ අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS