යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්



රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉදිරිපත් කළේය.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටී. ඒ, ඉන්දීය රජයේ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම රුසියන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණු බවත්, රුසියන් ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් දක්වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සිටින්නේ යුරෝපා රටවල සංචාරය කරමිනි. ජර්මනියේ බර්ලීන් අගනුවර සමුළුවකට එක් වෙමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා බවත්, මෝදි මැදිහත් වීමෙන් සකස් කෙරුණු සාම සැලැස්මට යුක්රේනය සහ රුසියාව එකඟ වන්නේ නම්, එම සැලැස්ම ඉදිරියට ගෙන යෑමට හැකි බවත් එස්. ජයිශංකර් පෙන්වා දෙයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟත් යහපත් සබඳතා පවත්වන ප්‍රබල රාජ්‍ය නායකයකු වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. මෝදි, පසුගිය කාලයේ රුසියාවට ගොස් රුසියන් ජනාධිපති පුටින් ද යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද හමුවී සාකච්ඡා පැවැත්වීය. 

රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට ඉන්දියාව මැදිහත් විය යුතු යැයි යුක්රේන හිතවාදී ඇමෙරිකාව ද පවසා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට හැකි නම් එසේ කළ හැක්කේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පමණක් බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS