යුක්රේන න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කරන්න අවසර



යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපැයීමටත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙසේ කැමැත්ත පළ කර ඇත්තේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ පැවැති දුරකතන සාකච්ඡාවකින් අනතුරුවය.

එම දුරකතන සාකච්ඡාවේදී ප්‍රංශ ජනාධිපති මැක්රොන්, රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ අර්බුදයට ලක්වුණු සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසය. ඒ අනුව, ජනාධිපති පුටින් ඊට කැමැත්ත ලබා දුන්නේය.

යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ රුසියන් හමුදාව මෙම සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගෙන සිටින අතර බලාගාරයේ හමුදා කඳවුරක් ද පිහිටුවා තිබේ. රුසියන් හමුදා කඳවුරේ සිට යුක්රේන හමුදා සෙල්දුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි.

දෙපාර්ශ්වය අතර ගැටුම්වලින් බලාගාරයට හානි සිදුවී විකිරණ කාන්දුවක් සිදුවිය හැකි යැයි බියක් හටගෙන ඇත. මේ අතර, ඊයේ (20) න්‍යෂ්ටික බලාගාරය අසලදී සිවිල් වැසියන් සිවු දෙනකු රුසියනු ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ බවට යුක්රේන හමුදාව චෝදනා කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS