යුක්රේන ජනාධිපති මැක්රොන්ට සුබ පතයි



ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඉමැනුවෙල් මැක්රොන්ට පළමුවෙන්ම සුබ පැතූ විදෙස් රාජ්‍ය නායකයා වූයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීය.

යුක්රේන ජනාධිපති සෙලෙස්කී සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සමීප මිතුදම් පවතී. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර ප්‍රංශ ජනාධිපති මැක්රොන් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සොලන්ස්කී ද හමුවී සාකච්ඡා පැවැත්වීය. රුසියාවත් යුක්රේනයත් අතර යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමට මැදිහත් වී කටයුතු කළ යුරෝපා රාජ්‍ය නායකයකු ලෙස ද මැක්රොන් සැලකිය හැකිය.

ප්‍රංශ ජනාධිපතිවරණයේ දී රුසියන් යුක්රේන අර්බුදය ප්‍රධාන සාධකයක් විය. මධ්‍යස්ථ මතධාරී මැක්රොන්ගේ සහාය සෙලෙන්ස්කීටත්, මැක්රොන්ගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ මරීන් ල පෙන්ගේ සහාය හිමිවූයේ යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයවන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් ලැබුණි. මරීන් ල පෙන් ද පුටින් මෙන්ම ජාතිකවාදියෙකි.
ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වූයේ පෙරේදා (24) ය. ජනාධිපතිවරණයට පෙර මැක්රොන් සහ ල පෙන් සහභාගී වූ සජීවී රූපවාහිනී විවාදය පැවැත්විණි. එම විවාදය උණුසුම් වූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනි.

ල පෙන් රුසියන් ජනාධිපති පුටින්ට පක්ෂපාතීව අදහස් දැක්වූ අතර, මැක්රොන් මධ්‍යස්ථව අදහස් දක්වන්න වූයේ රුසියාව යුද්ධය නැවැත්විය යුතු බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කොට සාමය ස්ථාපිත වීම යුරෝපයේ ස්ථාවරත්වයට අත්‍යාවශ්‍ය බවත් පෙන්වා දෙමිනි. රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා රටවල් තෙල් සහ ගෑස් අර්බුදයකට මුහුණ පා සිටී. එම අර්බුදයේ බලපෑම් ප්‍රංශයට ද දැනෙන්න පටන් ගෙන තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS