යුක්රේන ජනපතිගේ උපන් නගරයට රුසියාවෙන් ප්‍රහාරයක්



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් නගරය ලෙස සැලකෙන, මධ්‍යම යුක්රේනයේ ක්‍රිවි රීහ් නගරයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 60 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රහාරයෙන් මියගියේ 7 හැවිරිදි පිරිමි දරුවකු සහ 20 හැවිරිදි තරුණියක යැයි ද පැවැසෙයි. තුවාල ලැබූ 60 දෙනා අතරේ තවත් කුඩා දරුවන් හය දෙනකු සිටින බව ද විදෙස් මාධ්‍ය පවසයි.

ක්‍රිවි රීහ් නගරයට එල්ල වුණු එම ප්‍රහාර හේතුවෙන් මහල් නිවාස සංකීර්ණ 25 කට පමණ, රෝහලකට, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි හානි සිදුව ඇති බව ද පැවැසෙයි.

මේ අතර, ඉකුත් දා චීනයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී, ඔහුට 'මගේ මිතුරා' කීම, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. පුටින් මිතුරකු නොව, 'ඝාතකයකු' යැයි සෙලෙන්ස්කි පැහැදිලි කර ඇත.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ කීවේ, සී.එන්.එන්. පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. "යුක්රේන සිවිල් වැසියන් අමුමුවේ ඝාතනය කරන රුසියන් ජනාධිපති පුටින් මිතුරෙක් නොවෙයි. අපට නම් ඔහු සතුරෙක්. අපට නම් ඔහු ඝාතකයෙක්." යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.

 


RECOMMEND POSTS