යළි ආක්‍රමණයක් වුණොත් ඉවසන්නේ නැහැ



අසල්වැසි රටකින් නැවත වරක් ‘ආක්‍රමණයක්’ සිදු වුවහොත් එව නොඉවසන බවට තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

පාකිස්තානය මෑතකදී ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තලේබාන් සංවිධානයේ වැඩබලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මුහම්මද් යාකූබ් මුජහිද් එම අනතුරු ඇඟවීම කළේ ය.

ඇෆ්ගනිස්තානයේ කෝස්ට් පළාතේ ගිනිකොන දිග දිස්ත්‍රික්කයක් වන ස්පෙරා වෙත පාකිස්තානය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි. එම ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 47 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් තිබූ අතර තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව කාමා පුවත් සේවය වාර්තා කර තිබිණි.

පාකිස්තානයේ මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයකම විරෝධතා ආරම්භ වී තිබිණි. මෙම ගුවන් ප්‍රහාර ඇෆ්ගනිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන් මෙන්ම එරට බලධාරීන් ද පවසා තිබිණි.

විරෝධතාකරුවෝ පාකිස්තානයට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළ අතර සටන් පාඨ ද කීහ.

ඒ.එන්.අයි. ඇසුරිනි


RECOMMEND POSTS