මෝදිගේ ප්‍රධානත්වයෙන් ’බ්‍රික්ස්’ සමුළුව ඇරැඹේ



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් 13 වැනි 'බ්‍රික්ස්' සමුළුව ආරම්භ විය. 'බ්‍රික්ස්' යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවෙන් පැවැත්වෙන ආර්ථික, වෙ‍ෙළඳ සහ දේශපාලනික සහයෝගීතා සමුළුවය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සමුළුව වීඩියෝ 'සූම්' තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර, රාජ්‍ය නායකයෝ සියලු දෙනා ඊට එක් වූහ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ය.

මෙවර සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ 'කොවිඩ් 19' ගෝලීය වසංගතය කෙරෙහිය. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය ගැනත්, එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන ආතාරය ගැනත් වයිරස වසංගතය හමුවේ ආර්ථික කටයුතුවලට එල්ලවුණු බලපෑම ගැනත් සාකච්ඡා කෙරුණි.

'කොවිඩ් 19' වසංගතය පරාජය කිරීමට ඉන්දියාවත් චීනයත් බ්‍රසීලයත් එකමුතුවිය යුතු යැයි බ්‍රසීල ජනධිපති ජාර් බොල්සරානෝ යෝජනා කළේය. ඉන්දියාවත් චීනයත් නිපදවන එන්නත් වැඩි දියුණු කිරීමට බ්‍රසීල තාක්ෂණය යොදාගත හැකි බව ද බ්‍රසීල ජනධිපතිවරයා පෙන්වා දුන්නේය. දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පෙන්වා දුන්නේ, එන්නත්කරණ වැඩසටහන සමානව ලොව සියලු දෙනා අතරේ සිදුවිය යුතු බවය. මෙම අදහස සෙසු බ්‍රික්ස් නායකයෝ අනුමත කළහ.

සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ජින් පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයට ආධාර කරමින්, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට චීනය සූදානමින් සිටී. තලේබාන්වරුන් පිහිටුවූ අන්තර්වාර රජයට චීනය

මේ වනවිටත් මුදල් ආධාර ලබාදීම ආරම්භ කර තිබේ. රුසියා ජනාධිපති පුටින් ද පවසා ඇත්තේ තලේබාන්වරුන් ශක්තිමත් මෙන්ම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, ඊට සහාය දක්වන බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS