මෝදිගේ ප්‍රකාශයට පිළිතුරු



කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ එවකට පැවැති ඇගේ කොංග්‍රස් පක්ෂ රජයට චෝදනා එල්ල කිරීමට පටන්ගෙන ඇත්තේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජුන් කාර්ගේ පවසයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ, ගාන්ධි පරම්පරාවේ උරුමය ද වන ‘කොංග්‍රස්’ පක්ෂයයි. කොංග්‍රස් පක්ෂ සභාපති ලෙස කටයුතු කරන්නේ මල්ලිකාර්ජුන් කාර්ගේ ය.

“මහ මැතිවරණයට තව ඇත්තේ දින 18 ක් පමණයි. අග්‍රාමාත්‍ය මෝදි, කච්චතිව් දූපත සම්බන්ධ අර්බුදය යළි සිහිපත් කරමින්, අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිටත්, කොංග්‍රස් පක්ෂයටත් චෝදනා කරන්න පටන්ගෙන තිබෙනවා. කච්චතිව් දූපත සහ තමිල්නාඩු ධීවරයන් ගැන හිටිහැටියේ මෝදිට අනුකම්පාවක් පහළ වෙලා.” යැයි කොංග්‍රස් පක්ෂ සභාපතිවරයා ඊයේ (1) මාධ්‍ය හමුවේ පැවැසීය.

ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ එවකට පැවැති ඇගේ රජය කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කළේ 1974 වසරේ දී මිත්‍රශීලී ගිවිසුමක් යටතේය. ඉන්දියාව මේ අයුරින් බංගාදේශය සමඟ ද බංග්ලාදේශය සහ ඉන්දියාව අතරේ ඇති කුඩා දූපත් සම්බන්ධයෙන් මිත්‍රශීලී ගිවිසුම් පවත්වාගෙන යන බව ද කොංග්‍රස් පක්ෂ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.
ඉන්දිරා ගාන්ධි රජය, කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධ තොරතුරු තමන් අතට පත්වූයේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය යටතේ බව අග්‍රාමාත්‍ය මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා නගමින් පවසා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ඉන්දිරා ගාන්ධි එදා ගත් එම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන්, විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන් දැඩි කෝපයෙන් පසුවන බවත්, කොංග්‍රස් පක්ෂය කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි පක්ෂයක් බවත් මෝදි වැඩි දුරටත් පෙන්වා දී ඇත.
රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර කච්චතිව් දූපත පිහිටන අතර, අතීතයේ තමිල්නාඩු ධීවරයන් මෙන්ම ශ්‍රී ලාංකික ධීවරයෝ ද මෙම දූපත ආශ්‍රිතව ධීවර කටයුතුවල නියැලුණාහ. 

අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමෙන් පසු, දූපත අවට මුහුදේ ධීවර කටයුතුවල නියැලෙන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ කෙණෙහිලිකම්වලට ලක් වෙන බව කොංග්‍රස් පක්ෂයට දොස් නගමින් මෝදි දුන්නේය.

“මහ මැතිවරණය ළං වෙද්දී අගමැති මෝදිට හිටිහැටියේ කච්චතිව් දූපත මතක් වීම විහිළුවක්. තමිල්නාඩු ධීවරයන් ගැන අනුකම්පාවක් ගැන ඇත්තෙන්ම කනගාටුයි. කච්චතිව් දූපත සම්බන්ධ කාරණාව ඉතාමත් සංවේදී එකක්. මෝදි අපගේ කොංග්‍රස් පක්ෂයට චෝදනා කිරීම සහ විවේචනය කිරීම වැරදියි. මෝදි අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් අගමැති ධුරයේ ඉන්නවා. කච්චතිව් ගැන කැක්කුමක් තිබුණා නම් ඔහුට පුළුවන්කම තිබුණා කච්චතිව් ආපසු ගන්න. ඒත් එහෙම කළේ නැහැ. හිටිහැටියේ මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී අගමැතිවරයාට කච්චතිව් මතක් වෙලා. මෝදි හිටිහැටියේ, කච්චතිව් දූපත සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනා නගන්නේ, දේශපාලනික අවුලක් ඇති කරමින්, එලැඹෙන මහ මැතිවරණයේ දී ඡන්ද වාසි ගන්නයි. ඊට වඩා දෙයක් නැහැ” යැයි මල්ලිකාර්ජුන් කාර්ගේ මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS