මෝදි ෆින්ලන්ත අගමැතිනිය හමුවෙයි



ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති ‘ඉන්දියා-නෝඩික්’ සමුළුවට සමගාමීව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සන්නා මරීන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් පැවැත්විණි.

එම හමුවේ දී ඉන්දියාව සමඟ අයෝජන අවස්ථා ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්වූවාය.

ඉන්දියාව සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට සමත් වුණු බවත් ඉන්දියාවත් ෆින්ලන්තයත් අතර ‘ඩිජිටල්’ සහයෝගීතාවක් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් හමුවෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා තිබුණි.
ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තිය වන්නේ සන්නා මරීන්ය. ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 වසරේදීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය සන්නා මරීන් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

‘ඉන්දියා-නෝඩික්’ සමුළුව පැවැත්වූයේ ‘නෝඩික්’ කලාපීය රටවල් සහ ඉන්දියාව අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීමටය. ඩෙන්මාර්කය ද නෝඩික් රාජ්‍යයක් වන අතර සමුළුවේ සත්කාරක රට ලෙස කටයුතු කළේ ඩෙන්මාර්කයයි.

ඩෙන්මාර්ක අගමැතිනී මැටේ ෆෙඩ්රික්සන්, ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්, නෝර්වේ අග්‍රාමාත්‍ය ජොනාස් ගාර්, ස්වීඩන අග්‍රාමාත්‍ය මග්දෙලේනා ඇන්ඩර්සන් සහ අයිස්ගන්ත අග්‍රාමාත්‍යවරාය කැත්රින් ජෙකොබ්සෝරී එක් වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS