මෙක්සිකෝ දේශසීමාවේ බන්ධනාගාරයකට ප්‍රහාරයක්



ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ, මෙක්සිකෝවට අයත් හුවාරේස් නමැති දේශසීමා නගරයේ බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය එල්ල කළ සන්නද්ධ පිරිස ප්‍රහාරය එල්ල කළේ මනා සැලසුමකට අනුව යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා තිබේ. බන්ධනාගාරයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ, හුවාරේස් නගරයේ පොලිස් ස්ථානයට ද ඊට සමගාමීව ප්‍රහාරයක් එල්ල විය.

එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ගණන 19 කි. තවත් 18 ක් තුවාල ලැබූ බව වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූ වැඩිදෙනා ආරක්ෂක අංශ සාමාජිකයන් බව පැවැසෙයි.

සන්නද්ධ පිරිස බන්ධනාගාරයට පහර දෙද්දී මත්ද්‍රව්‍ය ජාවාරම් අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී බන්ධනාගාරගතව සිටි රුඳෙවියෝ 25 දෙනෙක් පලා ගියහ.

ඒ අතර දරුණු අපරාධ කල්ලි නායකයකු වන අර්නෙස්තෝ ඇල්ෆර්ඩෝ දෙලා කෲස් ද සිටින බව මෙක්සිකෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අර්නෙස්තෝ ඇල්ෆර්ඩෝගේ අපරාධ කල්ලි සාමාජිකයන් යැයි සැක කෙරේ. බන්ධනාගාරයට පහර දීමට සන්නද්ධ කල්ලි සාමාජිකයන් පැමිණ ඇත්තේ සන්නද්ධ රථවලින් බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS