මුස්ලිම්වරුන්ගේ කේන්තිය සාධාරණයි
‘චාලි හෙබ්දෝ’ සඟරාවේ නබිනායකතුමාට අපහාස වන අයුරින් විකට කටූන් පළ වීම හේතුවෙන්, ලොව මුස්ලිම් ප්රජාව කෝපයට පත්වීම සාධාරණ යැයි ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
කෙසේ නමුත් තමන් එරෙහි වන්නේ ලොව සමස්ත මුස්ලිම්වරුන්ට නොව, අන්තවාදී මුස්ලිම්වරුන්ට බවත්, අන්තවාදී මුස්ලිම්වරුන් මුළු ලොවට පමණක් නොව, සියලු මුස්ලිම්වරුන්ට ද තර්ජනයක් සහ අනතුරක් බවත් ප්රංශ ජනාධිපති මැක්රොන් වැඩි දුරටත් අවධාරණය කළේය. ප්රංශ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අල් ජසීරා පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි.
චාලි හෙබ්දෝ විකට කාටූන් සඟරාවේ, නබිනායකතුමන්ට අපහාස වන අයුරින් කාටූන් පළවීමට විරෝධය පළ කිරීමක් ලෙස ප්රංශයේ පැරිස් නුවර පාසලක නිදහසේ අදහස් ප්රකාශ කිරීමට ඇති අයිතිය පැහැදිලි කර දුන් ගුරුවරයකු ගෙල කපා ඝාතනය කෙරුණි.
එම අවස්ථාවේ ජනාධිපති මැක්රොන්ගේ උපදෙස් පරිදි ප්රංශයේ මුස්ලිම්වරුන් දැඩි ලෙස මර්දනයට ලක් විය. ඊට විරෝධයක් ලෙස ප්රංශ ජාතික කාන්තාවක් ගෙල කපා ඝාතනය කෙරුණු අතර, එම අවස්ථාවේදී තවත් දෙදෙනකට ද පිහි ප්රහාර එල්ල විය. ඒ නීස් නගරයේ කතෝලික පල්ලියක් ඉදිරිපිටදීය. ඊට අමතරව, පසුගිදා ලියොන් නුවර 52 හැවිරිදි ග්රීක ජාතික කතෝලික පූජකයකු මරා දැමීමක් සිදුවිය. ඒ, ඔහුගේ හිසට වෙඩි තැබීමෙනි.
නබිනායකතුමාට අපහාස කරමින් කාටූන් පළ කිරීමෙන් ලොව මුස්ලිම්වරුන්ට අපහාසයක් සිදුවුණු බව ජනාධිපති මැක්රොන් පැවැසුවත්, එසේ කාටූන් පළ කළේ ප්රංශයේ නිදහසේ අදහස් ප්රකාශ කිරීමට ඇති අයිතිය නිසා බව මැක්රොන් යළි අවධාරණය කර තිබේ. මුස්ලිම් අන්තවාදීන්ගේ ප්රචණ්ඩ ක්රියාවලට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව ද ප්රංශ අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
පැරිසියේදීය (රොයිටර්)