මුලින්ම සෞඛ්‍ය සේවක සේවකයන්ට



රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සිටින සෞඛ්‍ය සේවකයන් කෝටියකට මුලින්ම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (4) ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව මුල් පෙළ සිටින සෞඛ්‍ය සේවකයන් ඇතුළු තවත් කෝටි දෙකකට ආසන්න සේවකයන් පිරිසකට ‘කොවිඩ්-19’ එන්නත් ලබාදෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (4) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබූ අතර එහි දි කරුණු දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් බුෂාන් එම කරුණු පැවැසීය.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සමුළුවේ මුලසුන හෙබ වූ අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්විණි.

වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදි කීය. ඉන් අනතුරුව සෞඛ්‍ය සේවකයන්, පොලිසිය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් කෝටි දෙකකට ආසන්න පිරිසකට එන්නත දෙන බව ලේකම්වරයා පැවැසීය. නගර සභා සේවකයන් ඇතුළු සේවකයෝ ද එම කෝටි දෙකට ඇතුළත් වෙති.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන රාජ්‍ය සභාවේ සහ පහළ මණ්ඩලය වන ලෝක් සභාවේ පක්ෂයෝ නායකයෝ සියලු දෙනා එම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.

එන්.ඩී.ටීවී. 


RECOMMEND POSTS