මැලේසියා නව අගමැති නිරෝධායනයේ



මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය දා දිවුරුම් දුන් ඉස්මායිල් සබ්‍රි යාකොබ් නිරෝධායනයට යොමු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

61 හැවිරිදි නව අග්‍රාමාත්‍යවරයාට නිරෝධායනය වීමට සිදුවී ඇත්තේ ඔහු 'කොවිඩ් 19' ආශ්‍රිතයකුගේ සමීපතමයකු බැවිනි. අග්‍රාමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු විය යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් තීරණය කර නොමැති බව ද මැලේසියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. නිවෙස් නිරෝධායනයේ සිට අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරි කටයුතු සිදු කරන බව ද පැවැසෙයි.

ඉස්මායිල් සබ්‍රි යාකොබ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ඔහු ඊට සුදුසු යැයි මැලේසියානු රජු අබ්දුල්ලා සුල්තාන් අහ්මද් ෂාගේ අනුමැතිය හිමිවීමත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවීමත් සමඟය.

මැලේසියාවේ 9 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ ඉස්මායිල් සබ්‍රි ය. සබ්‍රි නියෝජනය කරන්නේ මැලේසියාවේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන, 'එක්සත් මැලේසියා ජාතික සන්ධානය' පක්ෂයයි.

(රොයිටර්)


RECOMMEND POSTS