මාස්ක් නැතිව එන්න එපා
මුහුණු ආවරණ පැලැඳීම ප්‍රතික්ෂේප කරන කිසිදු මගියකු ගුවන් යානාවලට පිවිසීමට ඉඩ ලබා නොදීමට ඇමෙරිකානු ගුවන් සමාගම් තීරණය කර තිබේ.
මෙසේ තීරණය කළේ ඇමෙරිකන් එයාර්ලයින්ස්, ඩෙල්ටා එයාර්ලයින්ස්, යුනයිටඞ් එයාර්ලයින්ස් සහ එයාර්ලයින්ස් ෆෝ ඇමෙරිකා නමැති ගුවන් සමාගම්ය. ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වලට සම්බන්ධ වී සිටින්නේ ද මෙම ගුවන් සමාගම්ය.
ගුවන් සමාගම් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ගේත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් සෞඛ්‍ය උපදෙස්වලට අනුවය.
ඒ අනුව, මුහුණු ආවරණය කර නොගත් කිසිදු මගියකුට ගුවන් යානාවලට ගොඩ වීමට අවසර නොදෙන බවත්, මුහුණු ආවරණ නැතිව යම් මගියෙකු පැමිණෙන්නේ නම්, ගුවන්තොටුපොළේ දී මුහුණු ආවරණ නොමිලේ ලබා දෙන බවත් ගුවන් සමාගම් වැඩිදුරටත් පවසා ඇත.
මේ වනවිට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ මරණ ගණන 1,16,114 කි. ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයක් පැවැතියත් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙයි. ඒ, පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිවය. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර ඇත්තේ, විරෝධතා හේතුවෙන් පළමු රැල්ල අවසන් වීමටත් පෙර ඇමෙරිකාවේ දෙවැනි රැල්ලක් හටගනු ඇති බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)