මහාරාෂ්ට්‍රයේ බලය මෝදිගේ ජනතා පක්ෂයට



ඉන්දියාවේ වෙළෙඳ අගනුවර වන මුම්බායි අයත් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමි වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මහාරාෂ්ට්‍රයේ දේශපාලන අර්බුදයක් පසුගිය කාලයේ පැවැතිණි. එම අර්බුදය හේතුවෙන් ප්‍රාන්තයේ බලය තමන් අතට ගැනීමට ඉන්දීය ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ, ඔහුගේ බලතල අනුවය.

ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද මහාරාෂ්ට්‍රයයි. අවසන් ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ප්‍රන්තයේ බලය අල්ලා ගැනීමට නොහැකි විය. ඊට හේතුව, ඔවුන්ගේ සන්ධාන හවුල්කරු සිව්සේනා පක්ෂය, භාරතීය ජනතා පක්ෂයෙන් වෙන්වී තනිවම තරග කිරීමටය.

කිසිදු පක්ෂයකට තනිව රජයක් පිහිටුවීමට හැකියාව නොලැබුණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඔවුන්ට හිතවත් කුඩා පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවීය. කෙසේ නමුත් මත ගැටුම් හේතුවෙන් එම සන්ධාන රජය බිඳ වැටුණි.

දේශපාලන අරගලවලින් පසු අවසානයේ කොංග්‍රසයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ තමන්ගේ සහායට ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. ඒ අනුව, ඔවුන් මේ වනවිට නව රජයක් පිහිටුවීය. නව රජයේ මහ ඇමැති ලෙස භාරතීය ජනතා පක්ෂයේ දේවේන්ද්‍රා ෆඞ්නාවිස් දිවුරුම් දුන්නේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS