මත්පැන් විෂවීමෙන් 65 ක් මියයති



ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මත්පැන් විෂ වී 65 දෙනකු මියගොස් ඇති බවත්,තවත් 23 දෙනකුට පෙනීම අහිමිවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැහැදිලි කර තිබේ.

මත්පැන් පානය කිරීමෙන් මියගියේත් රෝගී වූයේත් හනුමාන් ගන්ජ් සහ ගිගෝරි  නමැති ගම්මාන වල පිරිමින්ය.මෙම ගම්මානවල කාන්තාවන් මේ හේතුවෙන් ප්‍රාන්ත මහ ඇමැති නිතිෂ් කුමාර් සමඟ කෝපයෙන් පසුවෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මියගිය සහ රෝගී වූවන් සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා කළ ප්‍රකාශ, එම කාන්තාවන්ගේ කෝපය උත්සන්න කිරීමට ද හේතුවක් වී ඇත.

බිහාර් යනු මත්පැන් තහනම් ප්‍රාන්තයක් වුවත් හම තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ප්‍රාන්ත වැසියන් දොස් නගන්නේ මහ ඇමැතිවරයා ඇතුළු ප්‍රාන්ත රජයටය.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගම්වාසීන් රහසිගතව ආදාහනය කිරීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ගණනය කිරීම අපහසු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS