මට ලැබුණේ’කොවිෂීල්ඩ්’ කොරෝනා එන්නත



තමන් පමණක් නොව, ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් ලබා ගෙන ඇත්තේ ඉන්දියාවේ නිපදවන 'කොවිෂීල්ඩ්' ප්‍රතිශක්තිකරණ එන්නත බවත්, එම එන්නතටත් අනෙක් සියලු එන්නත්වලටත් ලොව සෑම රටකම පාහේ පිළිගැනීමක් තිබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අබ්දුල්ලා ෂාහීද් පවසයි.

ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවා ඇති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ඉන්දියාවේ 'සේරම්' ආයතනය නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' වෙළෙඳ නාමය යටතේය. යුරෝපා රටවල් බොහොමයක්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත එන්නත පිළිගත්තත්, 'කොවිෂීල්ඩ්' එන්නත පිළිබඳ ඔවුන් ප්‍රශ්න කරයි. මේ නිසා 'කොවිෂීල්ඩ්' එන්නත් ලබාගත් පුද්ගලයන්ට එම රටවලට ඇතුළුවීමේ දී ගැටලු මතුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ ඕනෑම 'කොවිඩ් 19' එන්නතකට ලෝකයේ ඕනෑම රටක අනුමැතිය හිමිවිය යුතු බවත් එන්නත් කොන් කිරීමක් නොකළ යුතු බවත් අබ්දුල්ලා ෂාහීද් මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

'මා ලබා ගත්තේ කොවිෂීල්ඩ් එන්නත. මට එම එන්නතේ නියමිත මාත්‍රා දෙකම ලැබුණා. මා හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කළ එන්නත්වලට ලෝකයේ සෑම රටකම පිළිගැනීමක් තිබිය යුතුයි' යැයි අබ්දුල්ලා ෂාහීද් පවසයි. 'කොවිෂීල්ඩ්' එන්නතට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' එන්නත් බෙදා දීමේ වැඩසටහන යටතේ ලෝකයේ රටවල් රැසක බොහෝ දෙනකුට ලැබී ඇ්තතේ ද 'කොවිෂීල්ඩ්' ප්‍රතිශක්තිකරණ එන්නතය.

අබ්දුල්ලා ෂාහීද් මාලදිවයින ජාතිකයෙකි. ඔහු මාලදිවයින විදේශ අමාත්‍ය ධුරය ද හොබවා ඇත. මාලදිවයිනේ දේශපාලනඥයකුට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS