බිලියනයකට එන්නත් දුන් පළමු රට



චීනය එරට වැසියන් බිලියනයකට‍, 'කොවිඩ් 19' එන්නත් ලබා දී අවසන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසයි. ඒ අනුව, රට වැසියන් බිලියනයක් එන්නත් කළ පළමු රට චීනය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

චීනය 'කොවිඩ් 19' වයිරස වසංගතයට එරෙහිව එන්නත් කීපයක් නිපදවා ඇත. එයින් වඩාත් සාර්ථක බව පැවැසෙන්නේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' නමැති එන්නත් වර්ග දෙකය.

ආරම්භයේ දී චීනයේ එන්නත්කරණ වැඩසටහන තරමක මන්දගාමී ස්වභාවයක් ගත්ත ද මේ වනවිට චීනය සිය ඉලක්කයට ළඟා වී අවසන් යැයි චීන ජාතික සෞඛ්‍ය පවසා ඇත.

චීනයේ ජනගහනය බිලියන 1.4ක් වන අතර එයින් සියයට 40ක පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන් කිරීමට චීනය සැලසුම් කර ඇත. චීනය මේ ජූනි මාසය අවසානය වනවිට එම ඉලක්කය වෙත ළඟා වනු ඇතැයි මේ වනවිට ගණනය කර තිබේ. චීනය මේ වනවිට දෛනිකව මිලියන 17කට වැඩි පිරිසකට එන්නත ලබා දීම ද සිදුවෙයි.

චීනය එන්නත් අපනයනයට ප්‍රමුඛත්වය දීම හේතුවෙන් මුල් අවස්ථාවේදී ඔවුන්ගේ ජාතික එන්නත්කරණ වැඩසටහන තරමක පසුබෑමකට ලක්විය. කෙසේ නමුත් ලොක්ඩවුන් සීමා සහ මහා පරිමාණයෙන් පරීක්ෂණ කිරීම නිසා වයිරසය පැතිර යෑම පාලනය කරගැනීමට චීනය සමත්විය. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහනේ වැදගත්කම අවබෝධ කරගත් චීනය සිය එන්නත්කරණ වැඩසටහන වේගවත් කළේය.

ඉකුත් මාර්තු මාසය මැද භාගය වනවිට චීනය ලබා දී තිබුණේ එන්නත් මාත්‍රා මිලියන 65ක් පමණි. කෙසේ නමුත් අප්‍රේල් මාසය වනවිට දෛනිකව එන්නත් මාත්‍රා මිලියන 4.8 ක් ලබාදීමට චීනය සමත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS