බ්‍රිතාන්‍ය අගමැති සුනාක්‍ යුක්රේන ජනපති හමුවෙයි



ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපතිවරයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සුනාක් කීව් අගනුවරට ගියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය.

රුසියන් ප්‍රහාර හමුවේ, දිග්නි දිගටම යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය සුනාක්, යුක්රේන ජනාධිපතිවරයා හමුවේ ප්‍රතිඥා දුන්නේය. යුක්රේන ජනාධිපතිවරයා සුනාක් පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි.

සාකච්ඡාවලින් පසු පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. හමුදා ආධාර පැකේජයක් ද ඊට ඇතුළත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. යුද සන්ධානයක් වන නේටෝ ව පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.

රිෂී සුනාක්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ මහජන ඡන්දයෙන් නොව, පාලක 'කොන්සවර්ටිව්' පක්ෂයේ නායකත්වය හිමිවුණු බැවිනි. බ්‍රිතාන්‍යයේ අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.

මීට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බොරිස් ජොන්සන් අවස්ථා ගණනාවකදී යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. එදා සිට මේ දක්වා, බ්‍රිතාන්‍ය රජයේ සහාය යුක්රේනයට හිමිවී ඇති අතර, දෙරට අතර මිතුදම් අන් කවරදාරටත් වඩා ශක්තිමත් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS