බලහත්කාරයෙන් අතුරුදන්වූවන්



ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා රටවල බලහත්කාරයෙන් අතුරුදන්කරවීම්වලට ගොදුරුවූවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සහ ඒ ප්‍රජා සමඟ එක්සත්ව සහ සහයෝගයෙන් සිට ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු (30) වැනිදාට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කර ඇත.

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම නිසා එම පවුල්වලට සහ ප්‍රජාවලට තමන්ගේ ආදරණීයයන් පිළිබඳ සත්‍ය දැනගැනීමේ අයිතිය අහිමි වන අතර එපමණක් නොව වගවීම, යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම හානිපූර්ණය යනාදිය ඉටු නොවන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සඳහන් කර ඇත.

අතුරුදන් කරවූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකා රජය 2016 වසරේ දී වැදගත් පියවරක් තැබූ බව ද ඇය සඳහා පවසා ඇත.

තම ආදරණීයන් වෙනුවෙන් බලා සිටීම, බලාපොරොත්තු සහ බලාපොරොත්තු නැතිවීම, වසර ගණනක් මුළුල්ලේ සිට තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක් ද ඔවුන් ආගිය තැන් යනාදිය දැනගැනීමේ බලාපොරොත්තුවෙන් සිටීමත් එම බලාපොරොත්තු සුන්වීමත් යන කරුණු නිසා අතුරුදන්කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ එම ප්‍රජා දැඩි මානසික පීඩාවට ලක්ව ඇතැයි ද ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

බලහත්කාරයෙන් අතුරුදන්කරවීම නිසා එහි වින්දිතයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මිතුරු මිතුරියන් ට ද අනාරක්ෂිතව ජීවත්වීමට සිදුව ඇති බවත් සත්‍ය සොයා යෑම නිසා ඔවුන්ට ද අවදානම්වලට මුහුණ දීමට සිදු ව ඇති බවත් ඇය සඳහන් කර තිබේ.

මෙයින් වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් බව ද ඇය පවසා ඇත.

(ඩේලිමිරර්)


RECOMMEND POSTS