බටහිර ඇෆ්ගනිස්තානය භූමි කම්පාවකින් කැලැඹේ



බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 26 තෙක් ඉහළ ගොස් තිබේ. භූමි කම්පාව හටගත්තේ පෙරේදා (17) සවසය. තැවුල ලැබූ ගණන 50 කට ආසන්නය. නිවාස 700 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

භූමි කම්පාවෙන් නිවාස රැසක් බිමට සමතලා වී ඇත. සුන්බුන් අතරේ සිරවූවන් බොහෝ දෙනකු සිටින බවත් මරණ සහ තුවාල ලැබූවන් ගණන තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් පරිමාණයේ ඒකක 5.3 ක් ලෙසය.

භූමි කම්පාව හටගෙන ඇත්තේ කිලෝ මීටර් 30 ක් පමණ පොළොව අභ්‍යන්තරයේය. භූමි කම්පාවෙන් ප්‍රබල හානි සිදුවූයේ බඩ්ගිසම් නමැති පළාතේ කදිස් දිස්ත්‍රික්කයේ පළාත්වලටය.

මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ ද බඩ්ගිසම් පළාතෙනි. බඩ්ගිසම් පළාත පිහිටා ඇත්තේ ටර්ක්මිනෙස්තානයට යාබදවය. ප්‍රබල භූමි කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් වූ පසු භූකම්පන තත්ත්වයක් ද හටගෙන තිබේ.

මියගිය 26 දෙනා අතර කාන්තාවන් පස් දෙනකු සහ දරුවන් සිවු දෙනකු සිටින බව බඩ්ගිසම් බලධාරීහු පවසති. මේ වනවිට බඩ්ගිසම් පළාතට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, එය දිවි බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇති බවත් බලධාරීන් වැඩි දුරටත් පවසා තිබේ.

ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූමි කම්පා ඇතිවීම ස්වභාවිකය. ඇෆ්ගනිස්තානය පමණක් නොව අසල්වැසියන් වන ඉරානයත් පාකිස්තානයත් නිරන්තරයෙන් භූ කම්පනවලට මුහුණ දෙයි.
2015 දී පාකිස්තානය ප්‍රබල භූ කම්පනයකින් කැලැඹිණි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙසය. එයින් මියගිය ගණන 280 කි.

(රොයිටර්)


RECOMMEND POSTS