බංග්ලාදේශ අගමැතිනියට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම්



බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් බංග්ලාදේශයේ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා සංවිධානයට කරන්නේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

විරෝධතාකරුවෝ 10,000 කට වැඩි පිරිසක්, පෙරේදා (29) ඩකා අගනුවරට රැස් වී, අග්‍රාමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙසත්, භාරකාර ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුව යටතේ මහ මැතිවරණයක් පවත්වන ලෙසත් බල කරන්න වූහ.

ජීවන වියදම, විරැකියාව සහ දරිද්‍රතාව ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී සිටින බවත්, අගමැතිනී හසීනාගේ රජයට දිනෙන් දින දූෂණ චෝදනා එල්ල වෙනමින් පවතින බවත් බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා නගා තිබේ.

75 හැවිරිදි ශීක් හසීනා නියෝජනය කරන්නේ බංග්ලාදේශ අවාමි ලීගයයි. ඇය අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2009 වසරේ සිටය. 2018 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ද ශීක් හසීනා ප්‍රමුඛ අවාමි ලීගය විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. එසේ වුවත්, විපක්ෂය චෝදනා කරන්නේ එම මැතිවරණ ද දූෂිත බවටය.

ඩකා අගනුවර මධ්‍යයට රැස්වුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවීමට අගමැතිනී ශීක් හසීනා කටයුතු කළ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතරේ දරුණු ගැටුම් හටගත්තේය. පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර යොදා ගනිමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවෝ, බස් රථ ඇතුළු මෝටර් රථවලට පහර දී ගිනිබත් කළහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා අගනුවර යුද පිටියක් වූ බවය.

හටගත් ගැටුම්වලින් තම සාමාජිකයන් 20 දෙනකු තුවාල ලැබූ බවත් තවත් 11 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත් බංග්ලාදේශ ජාතික පක්ෂය පවසා තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැණුනු සමස්ත විරෝධතාකරුවන් ගණන 100 කට වැඩිය. ගැටුම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 23 දෙනකු ද රෝහල් ගත කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS