පෞද්ගලික ගගන සංචාරකයෝ ආපසු එති



ලොව පළමු පෞද්ගලික ගගන සංචාරය ආරම්භ කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටි ගගනගාමීන් සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය සියයට 100 ක් පෞද්ගලික ගගන සංචාරය මෙය යැයි පැවැසෙයි. ඇමෙරිකාවේ ‘ඇක්සිමොස්‘ සමාගම සහ ‘ස්පේස් එක්ස්‘ සමාගම අත්වැල් බැඳ ගනිමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

ගගනගාමීන් ලෙස සිවු දෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත පිටත්ව ගියේත් ස්පේස් එක්ස් ෆෝල්කන් රොකට්ටුවක සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයක ආධාරයෙනි. යළි පැමිණියේ ඩ්‍රැගන් කැප්සියුලයේ ආධාරයෙනි.

නාසා ගගනගාමී මයිකල් ලෝපේස් ඇලෙජියා මෙහෙයුමට නායකත්වය දුන්නේය. මොහු ඇමෙරිකන් ස්පාඤ්ඤ ද්විත්ව පුරවැසියෙකි. මයිකල් ලෝපේස්  මීට පෙර අවස්ථා කීපයකදී ද අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය තැනැත්තෙකි.

ඇමෙරිකන් ව්‍යාපාරික ලැරී කොනර්, කැනඩා ජාතික ව්‍යාපාරික මාර්ක් පැතී සහ ඊශ්‍රායල ගුවන් හමුදාවේ නියමුවකු ලෙස ද සේවය කර ඇති ව්‍යාපාරික එයිස්ටන් ස්ටිබේ ගමනට එක් වුණු ගගන සංචාරකයන් තිදෙනාය.

පිරිස ආපසු පැමිණියේ දින 8 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කිරිමෙන් පසුවය. මෙම ගමන සදහා එක් අයකුගේ ටිකට් පතක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 55 ක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS