පෝලන්තයට රුසියන් මිසයිල ප්‍රහාරයක්



රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයේ ගම්මානයකට පතිත වීමෙන් පෝලන්ත වැසියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් කීප දෙනකු තුවැල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පෝලන්තය යුරෝපා සංගමයේ සාමාජික යුරෝපා රටක් වන අතර පෝලන්තයේ අසල්වැසියන් වන්නේ යුක්රේනය, ජර්මනිය, ස්ලොවේකියාව, චෙක් ජනරජය, ලිතුවේනියාව, බෙලරූසයයි. පෝලන්තය ‘නේටෝ’ රාජ්‍යයක් ද වෙයි.

රුසියාවේ නිෂ්පාදිත මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ ප්‍රෙස්වෝඩෝව් නමැති ගම්මානයටය. මෙම ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවට නුදුරිනි. රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම නොකඩවා සිදු කරයි.රුසියන් හමුදා පහර දෙන්නේ යුක්රේන නගර වැසියන්ගේ යටිතල පහසුකම් අඩපණ කිරීමටය.

කෙසේ නමුත් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළෙ කවුරුන්දැයි මෙතෙක් හරිහැටි අනාවරණය වී නැති අතර, පෝලන්ත රජය ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සිය හමුදාව සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇත.

මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් පෝලන්ත රජය එරට සිටින රුසියානු තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කළේය.

පෝලන්තයට එල්ල වුණු එම මිසයිල ප්‍රහාරය සැලවුණු සැණින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රේස් ඩූඩාට ඇමතුමක් දුන්නේය.

මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් එම අවස්ථාවේදී පැවැසීය.

‘නේටෝ’ සාමාජික රාජ්‍යයක් බැවින්, පෝලන්තයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්, සෙසු ‘නේටෝ’ සාමාජික පෝලන්තයේ සහායට පැමිණෙනු ඇත. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ ව පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල එකමුතුවෙනි. ‘නේටෝ’ සංවිාධානය පිහිටුවා ගැනීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය.

පෝලන්තයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් සොල්ටෙන්බර්ග් අතරේ දුරකතන සන්වාදයක් ද පැවැත්විණි. එහිදී ‘නේටෝ’ සාමාජික රටවල තානාපතිවරුන් අතරේ හදිසි හමුවක් කැඳවීමට ද තීරණය කෙරුණි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට පෝලන්තයේ සහාය හිමිවෙයි. යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන් වැඩි පිරිසක් දේශසීමා හරහා ගොස් ඇත්තේ පෝලන්තයටය. යුද ගැටුම්වලදී ද පෝලන්තයේ සහාය යුක්රේන හමුදාවට හිමිවෙයි.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සෘජුව චෝදනා නගා ඇත්තේ මිසයිල ප්‍රහාරය යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් රුසියන් හමුදා විසින් එල්ල කරනු ලැබූවක් කියාය. කෙසේ නමුත් රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ප්‍රහාරය යුක්රේන හමුදාව විසින් සිදු කර ඇති බවත්, යුක්රේන හමුදාව එසේ කළේ රුසියාව අමාරුවේ දැමීමට බවත්ය. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය රුසියාවේ මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

යුද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ එය රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නම්, එය පෝලන්තයට පතිත වන්න ඇත්තේ අත්වැරදීමකින් බවය. මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හදිසි තීරණයට එලබෙන්නේ නැතැයි පෝලන්ත ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS